Wednesday, March 15, 2017

එමම මවුන් මගේ - බිරිඳ තුරුලේ නිදන දරුවන් දෙදෙනා දැක සිතට ආ සිතුවිල්ලකි

එමම මවුන් මගේ


පොඩි පුංචි පැටව් දඟලන ඒ මිහිරි සිහින ලොවේ
හැමදාම හඬන යලි හිනැහෙන උන් සිහිනය ඇගේ
මව් තුරුලෙ නිදන සෙනෙහෙ ලබන මා තනිවුන පැයේ
මගෙ සිහිය මැවුනි දුරක නිදන එමම මවුන් මගේ

අද හිනැහෙන ඒ ඇයයි මගේ ගෙදර ටිකිරි ලියා
මගෙ දරු පැටවුන් මාත් එක්ක හිදී හෙටත් කියා
දුර ඇදක නිදයි මට සෙනෙහස බෙදූ සොදුරු ලියා
අද නැතිව ඇගේ දරු පැටවුන් තුරුලු වෙන්න කියා

ජීවිතයම පොත් පිංචකි එක දිගට ලිය තියා
හැම දෙනාම එය පෙරලයි නිමි තැනම සොයා සොයා
පෙර පියේ නුඹත් දැක්කයි ඒ සෙනෙහෙ බෙදන ලියා
මතු මමත් දකිමි තනිව සිතින් වැලපෙන ඒ ලියා





2017/03/16 W.S දිලූෂ් සසංඛ ප්‍රනාන්දු

Thursday, September 5, 2013

කෝමාරිකා පඳුර 

අපි හැමෝම දන්න ශාකයක් ගැන මොකටද ලියන්නෙ කියල ඔයාල හිතනව ඇති. ඒත් මට සිද්ද වෙච්ච ලස්සන සිද්දියක් නිසයි ඒ ගැන ලියන්න හිතුනෙ.

අපි දැන් ඉන්නෙ නවසීලන්තයෙ අගනුවර වන වෙලින්ටන් නගරයෙයි. මේකට කියන්නෙ වින්ඩි වෙලින්ටන් කියල ඒකට හේතුව සීත ර්තුවේදි මේ නගරය හරහා යන වෙගවත් සීත සුළං ධාරාවල්. නවසීලංතයෙ උතුරු දූපතේ දකුණු කෙලවරේ තමා මේ නගරය පිහිටල තියෙන්නෙ, ඉතින් දකුණු දූපතේ තියෙන හිම කඳු හරහා එන සීත සුලං උතුරු දූපතට ඇතුල් වෙන්නෙ මේ නගරය හරහායි. ඒත් මේ නගරය ලෝකෙම තියෙන ලස්සන නගරයක්. නගරය ගැන පස්සෙ ලියන්නම්, දැනට මේ ටික කිව්වෙ අපි ඉන්න ප්‍රදේශය ගැන පොඩි හැඳින්වීමක් කරන්නයි. මොකද අපි මෙහාට ඇවිත් තාම මාස දෙකක්වත් නෑ, අනික මෙහෙට දැන් සීත ර්තුව, ඉතින් හවස 5- 5.30 විතර වෙනකොට අඳුර වැටෙනව.

අපි ඉන්න ගේ ලගම තියෙනව මහ විසාල කෝමාරිකා පඳුරක්, මේක දැක්ක මුල් දවසෙ අපි හිතුව එක්කෝ මේ වෙන පැලෑටියක් වෙන්න ඇති කියල මොකද ඒක එච්චරටම විශාල පඳුරක්, මිනිස්සු විස්සක් තිහක් හන්ගන්න පුලුවන් මේ පඳුරෙ. ඒත් නිකමට වගේ පත්‍රයක් කඩල බැලුව සුවදත් කෝමාරිකා මයි. ඔන්න වෙච්ච වැඩේ කියන්නෙ අපිට හැමදාම මේ පඳුර බලන්න බැරි වෙනව මොකද ඒක තියෙන්නෙ අපියන පාරෙ පාපුවරුව පැත්තෙ නෙමෙයි, ඒ වගේම උදේට යනකොට එතන කන්දට මුවාවෙලා නිසා දකින්න ලැබෙන්නෙ නෑ, අනික උදේට හදිස්සියෙන් යන නිසා ඒ පැත්ත හැරිල බලන්න වෙන්නෙත් නෑ. හවසට එද්දි කලුවර නිසා පඳුර පෙනෙන්නෙත් නෑ.

ඉතින් මමයි මගේ බිරිඳයි කතා වෙනව කෝමාරිකා පඳුර කපල අයින්කරලද දන්නෙනෑ මොකද අපි දෙන්නටම මේක දකින්න ලැබෙන්නෙ නැති නිසා. මම දවසක් හවස ගෙදර යන ගමන් හිතුව අද මතක් කරලම බලනව කියල කෝමාරිකා පඳුර තියෙනවද කියල. ඔන්න ඉතින් මම කෝමාරිකා පඳුර තියෙන තැනට ලංවෙනකොට හොදට බැලුව ඒත් එතන පඳුර වෙනුවට මල් ගොඩක් තියෙන වෙන පඳුරක් තියෙනව, ඉතින් දැන් එතන කලුවරත් නිසා එච්චර පැහදිලිත් නෑ, ඒත් මල් තියෙන නිසා කෝමාරිකා වෙන්නත් බෑ, මම එතන පහුකරලත් ගිහින් ආයෙත් හිතුව නිකමට මොකටත් ආයෙ ගිහින් බලනව කියල. ඔන්න මම ආයෙත් ගියා මේ සැරේ පඳුර ලඟටම. බලපුවහම ඒක කෝමාරිකා පඳුරම තමා ඒත් මල් වලින් පිරිල, මට හිතුන තවත් මල් ගහක් යටින්වත් වැවිලද කියල මල් තියෙන අත්තක් ඇදලම බැලුව, අනේ නෑ ඒක කෝමාරිකා මලක්මයි.
ඉතින් මම මේ සිද්දිය ගෙදර ගිහින් මගේ බිරිඳට කිව්වම එයා විස්වාස කලෙත් නෑ. ඊට පස්සෙ මම මොකටත් අන්තර්ජාලයේ හොයල බැලුවම ඔය තියෙන්නෙ මලුත් එක්කම කෝමාරිකා පඳුරු.

ඔන්න මම ඔයාල හැමෝටම බලාගන්න අපේ ගෙවල් ලඟ කෝමාරිකා පඳුරෙ ෆොටෝ පහල දාල ඇති.







ඊලඟට වෙච්ච වැඩේ තමා හොඳම, අර කලින් කියපු සිද්දිය උනේ සිකුරාදා දවසක, ඔන්න සෙනසුරාද අපි ගිහින් කෝමාරිකා පඳුර බලල ෆොටෝ අරගෙන ආව. ඔන්න ඉතින් අපි ඉරිද පල්ලි ගියා වෙලින්ග්ටන් නගරෙ තියෙන පල්ලියකට. මෙන්න බොලේ පාර මැද්දෙ මල් වවපු තැන් වලත් කෝමාරිකා මල් පිරිල. මම ඔයාලට බලන්න ඒ ෆොටෝත් දාල ඇති පහල. තරහ වෙන්න එපා මට තියෙන ෆෝන් එකෙන් තමයි ඔය ෆොටෝ ගත්තෙ, ඒක නිසා එච්චරම පැහැදිලි නැතිව ඇති.




ඉතින් මට හිතුන මේ පුංචි සිද්දිය කොච්චර දෙයක් කියනවද අපි ගැනම කියල. බලන්න අර කෝමාරිකා පඳුර හරියට අපේ ජීවිතේ අපි නොදකින අපේම වටිනාකම් වගේ, කොච්චර ලඟින් තිබුනත් කොච්චර ලස්සන උනත් අපිට වෙලාවක්නෑ ඒ ලස්සන දකින්නවත්, ඒලඟ නතරවෙලා බලන්නවත් හිතන්නවත්. අනික අර නගරෙ මැද්දෙ තිබුන කෝමාරිකා මල් පඳුරු අපි හැමදාම දැක්කත් අපිලඟම හිටියත් අපි නිකමටවත් හොයල බලන්නෙ නැති අපේම ලඟ ඉන්න සහෝදරය වගෙ නේද?
මට මතකයි දවසක් මට බේලන් පියතුමා කිව්ව අපි හැමෝම ආශ්චර්යන්, ප්‍රාතිහාර්යයන් වෙනකන් බලන් ඉන්නව ඒත් නිකමටවත් හිතල බලන්නෙ නෑ අපි ලඟම තියෙන තණකොළ ගහක් මලක් පුබුදින එක කොච්චර ආශ්චර්යයක්ද කියන එක කියල, ඒ ආශ්චර්යයන් දැකදැකත් නොදකින අපිට, අපි පතන ආශ්චර්යයන් ලැබුනත් දකින්න අපිට පුලුවන් වෙයිද?

ජේසු පිහිටයි!

Test reference

Tuesday, April 2, 2013

2013/03/25 වන දින මා ප්‍රියාදර බිරිද විසින් අප පුතු මෙලොවට බිහිකිරීමේ සිද්ධිදාමය නෙතගැටී සිත්රූ වූ අත්දැකීම පදපෙලකින් මෙසේ ලියා තබමි.


චූටිපුතේ නුඹෙ අම්මා

ජීවිතේ උයනේ මගේ ඒ, සුවඳදී මල් පිබිදීලා
සතුටදී ඵල බරවෙලා ඇත, පුදුමයෙන් මා සනසාලා.

චූටි පුතේ නුඹෙ අම්මා....
කඳුලුවලින් ඇස් පුරවාලා,
වේදනාව අමතක කරලා,
තුරුළු කරන් නුඹ හිනැහෙනවා,

වේදනා නොම වේ නොවේ ඒ, ජීවිතේ ගලනා ගඟේ,
පැතුම් පැතුවා පමණි මතකය, දැනුනු දින ඔබ පලමුවෙන්

පැයක් දිනකට වඩා දිගු බව, නොදැන සිටිමුත් මේ ලෙසින්
දසමසක් දිනකට කුඩාබව, සිතුනි මට ඔබ දුටුසැනින්.

2013/04/03 W.S දිලූෂ් සසංඛ ප්‍රනාන්දු

play



Sunday, January 27, 2013

තවම මව් කුසේ දඟලමින් ඉන්නා මාගේ තවම නූපන් පුතුට ලියූ ගීතයයි

සිතේ සිතුම් මැවේ ඇදේ

සිතේ සිතුම් මැවේ ඇදේ
හදේ පැතුම් පිරී ඇතේ
වේදනා නිවේ නිවේ
දැනිලා ඔබ මවගේ කුසේ //

කතා කියයි මව් පුතේ දැනිලා ඔබේ දගේ.
ගීත ගයයි මව් ඔබේ නලවන්න ඔබව කුසේ.
සුරංගනා කතා සොයයි කියවන්න ඔබට පුතේ.
සෑම දේම මව් කරන්නෙ සනසන්න ඔබව කුසේ.

දගලන ඔබ දැනන විටදි හිත හරි හීතයි,
තුරුල් වෙලා කතාවෙන්න මට හරි ආසයි,
සද්ද නැතිව ඔබ ඉදිද්දි හිත හරි පාලුයි,
දවස් ගනිමි ඔබ බලන්න මට හරි ආසයි,

දකින දකින හැමදේ දැන් හරිම ලස්සනයි.
ඔබව මැවෙන හැම මොහොතම හරිම සුන්දරයි.
මව්ගෙ කුසේ දගලන ඔබ හරි දගකාරයි.
පුතා මං වගේ දගයිලු මට හරි ආසයි.


2013/01/11 W.S දිලූෂ් සසංඛ ප්‍රනාන්දු

play

Tuesday, September 13, 2011

Inauguration ආරම්භය



I’m starting this blog to give what I have, to whole world without any penny in the name of Jesus the lord God Love of our life.
I was lead to this by Rev Fr Baylon who helped me to heal my wounds.

මා මෙම අන්තර්ජාල බ්ලොගය සාදන්නේ හුදෙක් සියලු ලෝකවාසීනට ජේසුතුමන්ගේ නාමයෙන් මාසතුදේ නොමිලේ ලබාදීම සදහා පමනක්ම බව සතුටින් සඳහන් කරමි. මීට පාදකවූයේ මගේ එකම සහෝදරයාගේ ගුරුතුමන්වන මාහට මාගේ සිතේ තිබූ තුවාල හොඳ කරගැනීමට සහයවූ හා මා ඒවෙත මෙහෙයවූ  ජේසුනිකායික ගරු බේලන් පියතුමන් බව ඉතා ආදරයෙන් මතක් කරමි.